Sunday, January 31, 2016

යූ ටියුබ්, එක රැයින් ජනප්‍රිය වීම, යූටියුබ් වලින් මුදල් සෙවීම සහ වංචා

යූ ටියුබ් එක අද ලෝකේ තියෙන විශාලතම විනෝද, දැනීම බෙදා ගැනීමේ සහ ප්‍රචාරක මාධ්‍යයක් වගේම සමහර දෙනෙකුට මුදල් උපයා ගැනීමේ මාධ්‍යකුත් වෙලා තියෙන බව ඔබ දන්නවා ඇති.

යූ ටියුබ් එක නිසා වෘත්තීය නොවන කලා කරුවන්ට තමන්ගේ හැකියාවන් සමාජයට සහ ලෝකයටම ඉදිරිපත් කිරීමට පහසු, වියදමක් නැති මාධ්‍යයක් ලැබිල තියෙනවා. අද අති සාර්ථක වී ඇති කලා කරුවන් කිහිප දෙනෙක්ම අද ඒ තත්වයේ ඉන්නේ යූටියුබ් එක නිසා. මේකට හොඳ උදාහරණයක් තමයි ලෝක ප්‍රසිද්ධ ගීත රචකයෙකු හා ගායකයෙකු වන ජස්ටින් බීබර්. ඔහුගේ ගායනයක් සහිත වීඩියෝවක් අහම්බෙන් ඇස ගැටුනු සංගීත ක්ශෙත්‍රයේ කෙනෙක් නිසා තමයි ඔහුව කලා ලෝකයට ලැබුණේ. ඒවගේම එක රටක පමණක් දන්න අය එක රැයකින් මුළු ලෝකයේම ජනප්‍රිය වීමට යූ ටියුබ් උදව් වී තියෙනවා. මීට හොඳ උදාහරණය කොරියන් පොප් ( K-Pop )ගායක Psy විසින් ගායනය කල ගන්ගම් ස්ටයිල් ගීතය සහ නැටුම් විලාසිතාව. 




Tuesday, January 26, 2016

ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා 2



ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා 1

අද පෝස්ට් එකෙන් ව්‍යවස්ථා සංශෝධනයට කෙළින්ම සම්බන්ධයක් නැති වුණත් සමාජයේ තිබෙන විශාල ප්‍රශ්ණ සහගත අංශයක් වන අධ්‍යාපන ක්ශේත්‍රයේ වැඩි වියදමක් නොමැතිව කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන ලියන්නම්. මේවත් බ්ලොග් කරුවන් ඉල්ලන ඉල්ලීම් වලට ඇතුලත් කර ගත්තට පාඩුවක් නම් වෙන එකක් නැහැ.

පාසැල් වලට ළමුන් බඳවා ගැනීමට විනිවිද භාවයෙන් යුත් ක්‍රමයක්   

අද රටේ තියෙන ලොකු ප්‍රශ්ණයක් තමයි පාසැල් වලට ළමයින් ඇතුලත් කරගැනීමේදී මුදල් නිසා සහ දැන ඇඳුණුම් කම් නිසා එවන් දේවල් අඩු අයට වෙන අසාධාරණය. මේ සඳහා තාක්ෂණයෙන් විසඳුමක් දීම අපි හිතනවාට වඩා පහසුයි. මෙම යෝජිත ක්‍රමය ආරම්භ කළ යුත්තේ ළමයාට අවුරුදු පහ පිරීමට ආසන්නයේ නොව අවුරුද්ද පිරෙන විටයි. මව්පියන් කළ යුත්තේ ළමයාගේ විස්තර සහ අයැදුම් කරන පාසැල් සහ පදිංචි ලිපිනය අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ කරුණ සඳහාම පිහියුවනු ලබන වෙබ් අඩවියකට ඇතුලත් කිරීමයි. අන්තර්ජාල පහසුකම් නැති අයට අදාල ප්‍රාදේශීය සභා කාර්‍යාල වල නොමිලේ සහ සුළු මුදලක් ගෙවා එය කරදීමට ඉදිරිපත්විය හැකි තරුණ ව්‍යවසායකයින් හරහා එසේ විස්තර ඇතුළු කල හැකිය. අදාල පාසැල් විසින් ඔවුන්ට ඇතුළුකර ගතහැකි ළමයින් සංඛ්‍යාව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දිය යුතු අතර එම සංඛ්‍යාව අඩුම වශයෙම් පෙර වසරේ ඇතුලත් කරගත් සංඛ්‍යාවට සමාන හෝ වැඩි විය යුතුය. 

Monday, January 25, 2016

ව්‍යවස්ථා සංශෝධනයට මගේ යෝජනා 1



බ්ලොග් කරුවන් ඔවුන්ගේ සමූහ යෝජනා ඉදිරිපත් කිරීමකදී සලකා බැලීම  ගැන  කොලඹ ගමයා බ්ලොග් අඩවියේ ගෙන ආ අදහසට සහය පිණිස මගේ යෝජනා වල පළමුවෙනි කොටස පහත දක්වමි. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය හුදෙක් 'දමි ප්‍රශ්ණය' ගැන පමණක් සලකා බැලිය යුතු එකක් නොවේ. වෙනත් සමාජීය අරමුණු පිලිබඳව යෝජනා ගැන සිතා බැලීමටත් දේශපාලකයින් සහ සමාජ පෙලඹවීම ක යුතුයැයි මම සිතමි.  එබැවින් මගේ යෝජනා වලින් එවන් අංශ ගැන වැඩිපුර සැලකිල්ලක් දැක්වීමට බලාපොරොත්තු වෙමි.

1. ප්‍රාදේශීය සභා සහ නගර සභාවලින් දේශපාලන කලමණාකරණය ඉවත් කිරීම 

සියළුම පළාත් පාලන ආයතන වල කටයුතු සුපරීක්ශණයට දේශපාලකයන් නොමැති කොමිසමක් පත්කළ යුතුය. දියුණු රටවල මෙන් නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට කළමණාකරණ සුදුසුකම් හෝ පරිපාලන සේවයෙන් ප්‍රධාන විධායක නිලධාරියෙකු පත්කිරීම. නගර සභා සහ ප්‍රාදේශීය සභා වල සේවය තාක්ශණය භාවිතයෙන් කාර්යක්ශමව සහ මහජනයාට පහසුවන අයුරින් සහ ඉක්මනින් සපයා දීම මොහුගේ ප්‍රධාන වගකීම වේ.  මෙම තැනැත්තා දේශපාලකයෙකු නොවන බැවින් කාර්‍යාල කාලය ප්‍රදේශයේ කළයුතු කාර්‍යයන් වලට වැය කල හැකිවේ. සෑම සභාවක්ම ප්‍රදේශයේ සියළුම අදාල ප්‍රදේශ ආවරණය වන පරිදි අවුරුදු 10 ක සැලැස්මක් සකසා ප්‍රසිද්ධ කල යුතුය. එහි එක් එක් ප්‍රදේශවලට ජල සැපයුම, පාරවල් අලුත්වැඩියාව, කසල එකතු කිරීම,  ආදී සේවාවන් හඳුන්වාදෙන කාලය ඒ සඳහා යන වියදම ආදිය පෙර ඇස්තමේන්තු කර තිබීමෙන් ඒ පලාත්වල මහජනයා සභාවෙන් වෙන සේවාවන් ලැබෙන් දින ගැන දැනුවත් වේ

Wednesday, January 20, 2016

දෙමළ බෙදුම්වාදය 3


මීට පෙර කොටස් මෙතනින්   දෙමළ බෙදුම්වාදය 1        දෙමළ බෙදුම්වාදය 2

මේ කොටසත් තව එකක් විතරක් දාල මේ ලිපි පෙළ අවසන් කරන්නයි යන්නේ. මගේ තියෙන සංනිවේදන නොහැකියාව නිසා මේ ලිපි වලින් නිකුත් වෙන්නේ  'යන්නෙ කොහෙද මල්ලෙ පොල්' වගේ අදහසක් කියල හිතෙනවා. ඒ මදිවට මම සයිඩ් එකෙන් බයි ලේ කට්ටියට විහිළුවට වගේ ගහන කෑලි වලින් කට්ටිය ඇවිස්සිලා බයි ලා සහ කපිරිඥ්ඥාත් අහන්න වෙච්ච එක.  ඒකෙන් වුනේ ලිපියේ ප්‍රධාන අදහස පැත්තක තියෙද්දි සංවාද ඔක්කොම යූ එන් පී සහ යූ එන් පී විරෝධී ඒවා වෙච්ච එක. බෙදුම්වාදයේ වෙන්කට රාමසාමි ගේ චරිතය සහ බෙදුම්වාදය අරමුණ කරගත් පසුව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ බවට පත්වූ පක්ෂය 1972 ජනරජ ව්‍යවස්ථාවට දවස් 18 කට කලින්  බිහිවීම වැනි සංසිද්ධි කිසිවක් සංවාදයට භාජනය වුනේ නැහැ. 

ලිපි වල ප්‍රධාන අදහස වුනේ දෙමළ බෙදුම්වාදය ඇතිවුනේ ලංකාවේ නොව ඉන්දියාවේ දමිලයන්ගේ වුවමනාවට කියන එක කියන්න. සමහර කමෙන්ට් කරුවන් කොච්චර ලින්ක් දුන්නත් වෙන්කට් රාමසාමිගෙන් පටන් ගත්ත බෙදුම්වාදී භූමිකාව පිළිගන්න ලෑස්ති නැහැ. ලංකාවේ මේව පටන් ගත්තේ සිංහලුන්ගේ වැරදි නිසා  එස් ජේ වී චෙල්වනායකම් වැන්නවුන් කියල තමයි බොහෝ දෙනෙක් පිලිගන්න කැමති. මට කියන්න තියෙන්නේ වෙබ් එකේ තියෙන දත්ත කියවලා හරි වෙන විදිහකින් තමන්ගේ මතය හදා ගන්න එක තමන්ගේ වැඩක් වුනත් විස්තර තියෙන කොට වැරදි මතයක් ඉන්න එක නම් ඥාණවන්ත දෙයක් වෙන්න බැහැ කියන එක. 




Thursday, January 14, 2016

දෙමළ බෙදුම්වාදය 2


මීට පෙර කොටස මෙතනින්   දෙමළ බෙදුම්වාදය 1


මෙම ලිපි වල ප්‍රධානතම අරමුණ දමිල බෙදුම්වාදය ශ්‍රී ලංකාවේ ඇතිවූ දෙයක් සහ සිංහල ජනතාවගේ වෙනස්කම් කිරීම (discrimination) , සමූලඝාතන (genocide) , ජනවාර්ගික ශුද්ධය (ethnic cleansing) නිසා බව කාලයක් තිස්සේ බෙදුම්වාදීන් ගෙන ගිය ප්‍රචාර වල අසත්‍ය භාවය ගෙන හැර දැක්වීමය. දෙමල බෙදුම්වාදය 1922 දී පමණ ඉන්දියාවේ වෙන්කට් රාමසාමි මහතා පටන් ගත් එකක් බවත් 1961 ඉන්දු -චීන යුද්ධයෙන් පසු ඉන්දියාවේ ජනතාවගේ ඇතිවූ බෙදුම් විරෝධී හැඟීම, සිදුවූ නීතිමය / ව්‍යවස්ථාමය වෙනස්කම් නිසා ශ්‍රී ලංකාවට ආනයනය කල එකක් බවත් පසුගිය ලිපියෙන් පෙන්වා දුනිමි.

එල් ටී ටී ය යුධ වශයෙන් පරාජය කිරීමෙන් බෙදුම්වාදී තර්ජනය අවසන් වී ඇතැයි යන අනවබෝධය නිසා පසුගිය රජය ගෙනගිය බටහිර විරෝධී  ස්ථාවරයේ තිබූ භායානක කම පෙන්වා දීම තව අරමුණක් විය. පාලකයින්ගේ සහ සමාජයේ බොහෝ දෙනා අතර තිබෙන ලෝක භූ-දේශපාලනික කටයුතු ගැන ඇති නොසැලකිල්ල සහ බෙදුම්වාදීන් ලෝකයේ සිදුවන  සිද්ධීන් / වෙනස්කම් තමන්ගේ වාසියට යොදාගැනීම නිසා රටේ ඒකාග්‍රතාවයට අනාගතයේ යම් දිනක තර්ජනයක් ඇතිවිය හැකි බවට ඇති මගේ හැඟීමයි. එම නිසා ඒවා සමහරක් ගැන මතු පිටින් සරල විග්‍රහයක් ඉදිරිපත් කිරීමද තවත් අරමුණකි.      

Monday, January 11, 2016

දෙමළ බෙදුම්වාදය 1

බෙදුම්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය ගැන දැනුවත් වීම අනාගතයේ හෝ ශ්‍රී ලංකාව දෙකඩ වීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේදී ඉවහල් වේ. පසුගිය රජය කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමෙන් රට දෙකඩ වීමට තිබූ අවස්ථාව අවසන් කළ බව සිතුවත් එහිදී සිදුවූයේ කාළයක් තිස්සේ පැවැතගෙන ආ දෙමළ බෙදුම්වාදය කාළයකදී පැහැරගත් ප්‍රභාකරන් ප්‍රමුඛ ත්‍රස්තවාදීන් විනාශ වීම මිස බෙදුම්වාදය අවසාන වීම නොවන බව තේරුම් ගැනීමට ඥාණයක් ඔවුනට නොවීය. කලින් පෝස්ට් එකේ සඳහන් කළ බෙදුම්වාදීන්ගේ ප්‍රයන්නයක් ජනවාරි 8 විප්ලවයෙන් බිඳවැටුණු බව කීමට හේතුව එයයි.


දෙමළ බෙදුම්වාදයේ ඉතිහාසය නොදන්නා බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ඇතිවූ යුද්ධයට හේතුව 1983 කළු ජූලිය, 1956 දී බණ්ඩාරණායකගේ සිංහල පමණයි (Sinhala Only) ව්‍යාපාරය හෝ 1974 දී උසස් අධ්‍යාපනට තෝරා ගැනීමේ ක්‍රමයේ සිරිමා බණ්ඩාරණායක මැතිණිය ක වෙනස්කම් යැයි අදහසක් දරයි. ඇත්ත වශයෙන්ම දෙම බෙදුම්වාදයේ මූලාරම්භය සිදුවූයේ 1917-1922 වැනි අතීතයක ඉන්දියාවේදීය. 1879 දී මදුරාසියේ උපත ලැබූ   ඉරෝද් වෙන්කට රාමසාමි විසින් දෙම ජාතියේ ආත්ම අභිමානය උදෙසා පටන් ගත් ව්‍යාපාරය ( Self Respect Movement) පසුව වෙනම දෙමළ රාජ්‍යයක් ඉල්ලීම දක්වා දිග්ගැස්සුනි. මෙම බෙදුම්වාදීන් බලාපොරොත්තු වූයේ මහා බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාවට සහ ලංකාවට නිදහස ලබා දෙන අවස්ථාවක්දී ඉන්දියාවේ තමිල්නාඩු සහ කේරල ප්‍රාන්ත කොටසක් සහ ලංකාවේ උතුරු ප්‍රදේශය එකතුව දෙමළ ජාතිකයින් සඳහා වෙනම රාජ්‍යයක්  සාදා ගැනීමය. 

Friday, January 8, 2016

ජනවාරි 8 විප්ලවයේ වීරයා කවුද


ජනවාරි 8 විප්ලවයේ පියවරු බර ගණනකි. හැමෝම ඒ සඳහා ක්‍රෙඩිට් එක ගැනීමට උත්සාහ කරති. මම දන්නා කරුණු අනුව මෙම විප්ලවයේ වීරයා මාදුලුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේය. පෙර ගමන්කරු  යුධ ජයග්‍රහණයෙන් පසු උමතුවූ රාජපක්ෂ වරුන්ගේ අපරාජිකත්වයට (invincibility) මුලින්ම අහියෝග කළ ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතාය. පොදු අපේක්කයෙකු සොයාගැනීම සහ මෛත්‍රීපාල සිරිසේන ඒ සඳහා පොදු එකඟතාවයකින් ඉදිරිපත් කිරීම පිටුපස සිටින්නේ තව දෙදෙනෙකි. ඉන් එක් අයෙක් මෑතකදී පිස්සු වැඩ කීපයක් නිසා මඩ කෑ රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නය. අනෙක් පුද්ගලයා සිතාගත නොහැකි ආකාරයේ අවදානමක් ගෙන කටයුතු කල වැඩි දෙනෙක් නොදන්නා ආචාර්‍යය කපිල රණසිංහය. ඊට අමතරව ඔවුන්ගේ සහයට සහ එක්සත් ජාතික පක්ශය ඒ සමඟ සම්බන්ධිකරණය සඳහා කටයුතු කළ කොමර්ශල් බැංකුවේ හිටපු සභාපති දිනේශ් වීරක්කොඩිය. එමෙන්ම අන්තිම මොහොතේ ඇතිවූ ප්‍රශ්ණයක් විශිශ්ඨ ලෙස සමනය කල අතුරලියේ රතන හිමියන්ද මෛත්‍රීපාල මහතාට ශක්තියක් වූ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ගැනද කිවයුතුමය.  

නොවැම්බර විසි එක් වැනි දිනෙන් පසුව තවත් විශාල ප්‍රමාණයක් වීරයන් බිහිවිය. බ්ලොග් කරුවන්, මුහුණු පොතේ ක්‍රියා කාරීන්, ගුටි කමින් පාරට බැසි කලා කරුවන්, සිවිල් සංවිධාන, පක්ශ ක්‍රියා කාරීන්, මේ සියළු දෙනාම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ කොන්දට සහ නිර්භීත කමට පින්සිදුවන්නට ජනවාරි 9 දින සැනසුම් සුසුමක් හෙලූහ. 

Monday, January 4, 2016

මම කවුද ඩෝ ! - 2

මම කවුද ඩෝ? - 1පෝස්ට් එකට අදාල විස්තරය දාන්න අවසර. ඒ පෝස්ට් එකට ප්‍රතිචාර දක්වමු හැමෝටම ස්තූතියි. ඒගැන විස්තර පසුව. 

ජීවිත කාළයක් පුරා අපි ඔසවාගෙන යන බරක් බිමින් තියන්න පුළුවන් විදිහක් ගැන තමයි මේ පෝස්ට් එක. මේ බර බිමින් තියන්න පුළුවන් වුනොත් ඉස්සරහට ඔබගේ ජීවිත ගමන සැහැල්ලුවකින් ගෙනියන්න පුළුවන් වෙයි. කැමතිනම් උත්සාහ කරල බලන්න. 

"බබාට බඩගිනියි" එහෙම නැත්නම් "බබාට අරක ඕන" යනුවෙන් තමන්ට තුන්වන පාර්ශවයෙන් සඳහන් කරන දරුවන් ඔබ දැක තියෙනවාද? මේකට හේතුව කියල කියන්නෙ 'බබා' සහ 'මම' කියන්නේ එක් එක්කෙනෙක් කියන හැඟීම කුඩා දරුවෙකුට එන්නෙ වයස තුනක්  වගේ යනකොට නිසා. අපි හිතන්නේ බබාට තවම තමා කවුද යන්න තේරුමක් නැහැ කියල. සමහර අයගෙ අදහස නම් මේක භාෂා දැනීම ලැබෙනකන් වෙන දෙයක් කියල. 

මගේ අදහස නම් බබා හිතන විදිහ හරි. ඊට පස්සේ අවට පරිසරයෙන් ලැබෙන අත්දැකීම් එක්ක බබාත් තමනුත් ඒ පොඩි ඇඟේ ඉන්න කෙනා බවට හිතා ගන්නවා. එහෙම උනායින් පස්සේ එම හැඟීම ගලවාගන්න හරිම අමාරුයි. දරුවා ටිකක් ලොකු වෙනකොට තව ගොඩක් දේවල් ගැන ඔහුට හැඟීම් එනව එහෙම නැත්නම් දෙමව්පියන් බලෙන්ම දෙනව. ඉපදෙන කොටම දෙන වාසගම් වලින් එම දරුවා එක පවුලක හෝ පැලැන්තියක සහ කුලයක කෙනෙක් වෙනව. ඊට පස්සේ යන පාසැල නිසා (රාජකීය විද්‍යාලයය, ආනන්ද විද්‍යාලයය ආදී වශයෙන්) අනික් දරුවන්ට සාපේක්ෂව දරුවා යම් තත්ත්වයක් (මානයක්) හිතට ගන්නව. සමහරවිට අනික් දරුවන් පයින් හෝ පොදු ප්‍රවාහන සේවා වලින් පාසැල් එනකොට මේ දරුවා පාසැල් යන්නේ පියාගේ මෝටර් රථයෙන්.  පාසැලේ අනික් අය සිංහලෙන් කථා කරන විට මෙම  දරුවාට ඉංග්‍රීසියෙන් කථා කරන්න තියෙන හැකියාව සහ ඒකට සමාජයෙන් පිළිගැනීමක් ලැබෙන කොට එතනත් මාන්නයක් ඇතිවෙනවා.

Sunday, January 3, 2016

මං කවුද ඩෝ ???


කවුරුවත් සාමාන්‍යයෙන් මෙහෙම අහන්නේ නැහැ. බොහෝ වෙලාවට ඇහෙන්නේ උඹ කවුද ඩෝ?, එහෙම නැත්නම් අර තරුණ බබලත් උදවිය අත් දෙකේ දබර ඇඟිල්ලයි මහපට ඇඟිල්ලයි එකට තියාගෙන දෙපැත්තට කරකව කරකව තොදොල්වෙවී "කවුද අනේ ඔයා"? කිය අහන එක. අපි අනික් අය කවුද කියල ඇහුවට අපි, අපි කවුද කියල අහන්නෙ කලාතුරකින්. වෙනසකටත් එක්කල හිතල බලන්න ඒ ප්‍රශ්ණෙට අපි මොකද්ද දෙන උත්තරේ කියල. පොඩ්ඩක් නැවතිලා තීරණය කරන්න කවුරුහරි අපෙන් ඒ ප්‍රශ්ණය ඇහුවොත් මොකද්ද හිතට එන උත්තරේ කියල. 

හරිද? හිතුවද?  

99%ක් ම මේ ප්‍රශ්ණෙට දෙන උත්තරේට ඇතුලත් වෙන්නේ මේ වගේ දේවල් නේද? නම, ඉන්න පලාත, උගත් පාසැල හෝ විශ්ව විද්‍යාලයය, වයස, ස්වාමි පුරුෂයාගේ භාර්‍යාවගේ එහෙම නැත්නම් ආදරවන්තයාගේ  හෝ ආදරවන්තිය සමඟ සම්බන්ධතාවය, සමිති සමාගම් වල තනතුරු හෝ සාමාජිකත්වය පවුලේ විස්තර, පැලැන්තිය , පියාගේ හෝ ඔබගේ ප්‍රසිද්ධ ඥාතියෙකුගේ සම්බන්ධතාවය, කරන ව්‍යාපාරය , හදාරන පාඨමාලාව, රැකියාව කරන ස්ථානය, අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම ,වෘත්තිය, රැකියාවේ තනතුර, වගේ දේවල් සම්බන්ධ කරගෙන නේද? 

ඔබට හැකියාවක් තියෙනවද මේ වගේ දේවල් පාවිච්චි නොකර ඔබ කව්ද? යන ප්‍රශ්ණයට උත්තරයක් දෙන්න?

මේ පෝස්ට් එකේ ඉතිරි කොටස ඔබගේ පිළිතුරු ලැබුණු පසුව. ඊලඟ පෝස්ට් එකට පෙර මම කියන්න යන අදහසට අනුව ලැබෙන හොඳම පිළිතුරට රුපියල් 5,000 ක ත්‍යාගයක් හිමිවෙනවා. එකකට වැඩි හරි උත්තර තිබුණොත් ත්‍යාගය පළමුවෙනි හරි උත්තරේට මින් භාගයකුත් ඉතිරිය අනික් හරි උත්තර අතර බෙදී යනවා.