Wednesday, November 30, 2016

ලංකාවේ සිවිල් සමාජය එහි වගකීම ඉටුකරනවාද

පළාත්පාලන ආයතනයක නාමපුවරුවක්

සංවිධානාත්මක සිවිල් සමාජ ක්‍රියාකරීන් ගෙන් ඉටුවිය යුතු කාර්‍යභාරය දැන් ඉටුවෙනවාද නැත්ද යන්න සිතා බලන්න. ජනවාරි 8 වෙනසට මුල පිරීමට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත්වීමට පෙර සිටම ඔවුන් සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් බව රහසක් නොවේ. ඔවුන්ගේ අරමුණ සාර්ථක වූ පසුව ඔවුන් පොදු අපේක්ෂකයා සමඟ එකඟ වුණු කරුණු ගැන ලඟකදී ඇතිවූ තත්ත්වයේදී අදහස් දැක්වීමක් සහ විපරමක් සිදුවුණද ඔවුන්ට කල හැකි විශාල කාර්‍යභාරයක්  ගැන අවබෝධයකින් කටයුතු කරන්නේ නැති බව මගේ අදහසයි. 

Saturday, November 26, 2016

මැට්ටලා

මත්තල නාම පුවරුව


මේ ලිපිය අපි අතර ඉන්න මැට්ටලා ගැන නෙමෙයි. විදේශිකයින් Mattala යන්න උච්චාරණය කරන්නේ මැට්ටල කියා නිසයි. අන්සතු දිනපොත මත්තල ආදායම වැඩි කරන්න අදහසකුත් එක්ක පෝස්ට් එකක් දාල තිබුණා.  ඒ ලිපියට කමෙන්ට් එකක් දාල තියෙන හුනෝ ඇත්තෙක් කියල තිබුණා කටුනායක ගුවන් තොටුපොල අළුත්වැඩියා කරන කාලේ එම ගුවන් ගමන් අහිමි කර නොගෙන ඒවා මත්තලට හරවන්න තිබුණා කියලා. මට මතක් වුණේ අපේ දේශපාලනයේ ඉන්න විශිෂ්ඨම උගතා විමල් වීරවංශ මැතිතුමා වරක් කිව්වා ලෝක බැංකු ණය රුපියල් වලින් ගෙවා දානවා කියලා. මේ මත්තල ගැන කියා ඇති හුනෝත් ඉගෙනගෙන ඇත්තේ ඒ විශ්ව විද්‍යාලයෙන්මයි වගේ.

ගුවන් තොටුපොලක් කියන්නේ පහසුකම් සපයන්නෙක් මිස කෙලින්ම ප්‍රවාහන ව්‍යාපාරයේ යෙදෙන්නෙක් නොවේ. එසේ යෙදෙන්නේ ගුවන් යානා සමාගම්. ඒ හුනෝ ඇත්තා කියන විදිහට ගුවන් සමාගම් වලට කටුනායක අළුත්වැඩියා කරන කාලෙට මත්තලට යන්න කියල ගුවන්තොටුපොල අධිකාරිය කියල නැහැ. ඒනිසා ඒගොල්ලො ලංකාවට එන ගමන් වාර ගණන අඩුකරන්න වෙලා. මත්තල ගුවත් තොටුපොලක් තියෙන වග නොදන්න ලංකාවට ගුවන් ගමන් කරන ගුවන් සේවා සමාගමක් තියෙන්න බැහැ කියන එක මේ මැට්ටලාට තේරෙන්නේ නැහැ. කටුනායක අළුත්වැඩියා කාලය තුල මත්තලට යන එක ඵලදායී නම් ගුවන් සමාගම් ගුවන් තොටුපොල අධිකාරිය කියන කම් බලාගෙන ඉන්නෙ නැහැ.

Wednesday, November 23, 2016

සමාව ඉල්ලා එපා යදින්නට




දේශපාලන කථා වලින් මිදෙන්න විදිහක් ලැබුණා.  මම ලියපු මගේම අත්දැකීමක් වෙන මගේ පලමු ගීතයම තමයි මගේ මුල පෝස්ට් එක. ඒකට ක්‍රියේශී අනුරාධී කියන කමෙන්ට්කාරිණියක් පිළිතුරු පදමාලාවක් දාල තිබ්බා. ඇයගේ අවසරය අරගෙන එම පදමාලාව ගීතයක් කරන්න හැකිවුණා. මේ උඩ තියෙන්නේ ඒ ගීතය. 

ගීතය ක්‍රියේශි ගෙන් ඉල්ලගත්තෙ 2015  සැප්තැම්බර්  දවසක. ඒකට සංගීතය සපයගන්න මාස 8 ක් විතර ගියා. විශාරද රෝහණ වීරසිංහ සගීතඥයා මේ ගීතයට සංගීතය සැපයූවේ. එතුමා මීට කලින් මම නිෂ්පාදන කරපු වර්ණ කුලකය ලියපු අජන්තා පීරිස් ගායන කරපු මේ සිංදුවටත් සංගීතය සැපයූවා. නෙළුම්යාය උත්සවේදි අජන්තා පීරිස් මේ ගීතය සජීවීව ගායන කලා.

Monday, November 21, 2016

ට්‍රම්ප් තුමා සමඟ නැගිටිමු

ට්‍රම්ප් මහතාගේ හිස පීරිමේ විලාසිතාව අනුගමනය කිරීමට උත්සාහ කරන අයෙක්

ගිය සතියේ පැවැත්වුණ ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණය ගැන විවිධ අර්ථකථන සහ හුරේ දැමීම් පුවත්පත්වල, රූපවාහිනී නාලිකා තුල මෙන්ම බ්ලොග් තුලත් දක්නට ලැබුණා. බ්‍රෙක්සිට් ජයග්‍රහණය සහ මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය හේතුවක් ඇතිව හෝ නැතිව රාජපක්ෂවාදීන් අමන්දානන්දයට පත්වෙලා. මොවුන් ට්‍රම්ප් මහතාගේ ගේ ජයග්‍රහණය අනාගත රාජපක්ෂ ජයග්‍රහණයකට සමාන කරන්නේ ඇයිද යන්න නම් මට තේරෙන්නේ නැහැ. ඒ පහත දැක්වෙන හේතු නිසා. 

ට්‍රම්ප් යනු වෘත්තීය දේශපාලඥයෙක් නොවේ. ඔහු ව්‍යාපාරිකයෙක්. එක්තරා අන්දමකින් ව්‍යාපාරයක් පරිපාලනය කිරීම රටක් පරිපාලනය කිරීමට සමානයි. වියදම් අඩුකිරීම, ක්‍රියා දාම කාර්‍යක්ෂම කිරීම, එක් එක් අංශ වල සහ සමස්තයටම ලඟා විය යුතු ඉලක්ක කලින් තීරණය කර ඒවා කරා ලඟා වීමට සම්පත් මෙහෙයවීම, හදිසි අවස්ථාවලට මුහුණ දීම වැනි හැකියාවන් රටක් පාලනයේදී සාර්ථක නායකත්වයක් දීමට අවශ්‍යම දෙයක්.

Monday, November 14, 2016

හැත්තෑවේ දශකයේ නූගතුන් බ්ලොග් ලියනවාද


පාර්ලිමේන්තුව පසුබිමේ ඇති අය වැය ලේබලයක්

අය වැය ගැන සමාජයේ විවිධ මත පලවෙමින් තිබේ. එවායින් ඒ මත පල කරන අයගේ සමාජීය සහ දේශපාලන දැනුම ප්‍රදර්ශණය කරමින් පවතී. පසුගිය අවුරුදු දෙකේ මා සිතූ දෙයක්නම් සාමාන්‍ය මහජනතාවගේ දැනීමට එහා දැනීමක් එමෙන්ම වැටහීමක් ඇති අය බ්ලොග් ලෝකයේ සැරිසරන බවකි. 

අය වැයක් යනු රටේ මීලඟ වසරේ අදායම් සහ වියදම් ඇස්තමේන්තු පාර්ලිමේන්තුව මඟින් අනුමත කරවා ගැනීමේ කාර්යාවලියයි. එය සමාගමක ඊලඟ වසරේ බජට් එක අධ්‍යක්ෂක මණ්ඩලයකින්  අනුමත කරවා ගැනීමට බොහෝ සෙයින් සමානවේ. 1956 බලයට පත්ව 1960 මාස කිහිපයක් හැර 1965 දක්වාම මයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෞද්ගලික සමාගම් පවරා ගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කලද බස් ජනසතුව හැරුණු කොට එසේ පවරා ගැනුනේ විදේශීය සමාගම් සතු දේපලය. ඒවා කාර්යක්ෂමව කලමනාකරණය කරමින් තිබූ ආයතන නිසා ඒවායින් විශාල මුල්‍ය පාඩුවක් රට සිදු නොවිනි. 1965 බලයට පත්වූ එජාප රජය 1967 දී රටේ මුදල් අතිරික්තයක් තිබූ මොහොතක එම මුදල් යොදවා කොලඹ උතුර යා කෙරෙන අධ්වේගී මාර්ගයක් තැනීමට සිතීය. රාජ්‍ය නායකයෙකු වීමට වඩා මහණ දම් පිරීමට සුදුස්සෙකු වූ එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතා එම මුදල් ප්‍රයෝජනයට ගණිමින්  මහජනයාට නොමිලේ සහල් සේරු දෙකක් දීමට ක්‍රියා කලේය. 

Thursday, November 10, 2016

කොහොමද කෑම?


(LankaNewsweb) 2015 ජනවාරි 08 වනදා යහපාලන රජය බලයට පත් වූ අළුත ම එවකට ඩුබායි රාජ්‍යයේ සේවය කළ බැංකු කළමනාකරුවකු විසින් එක්තරා බැංකු ගිණුම් 3ක ගිණුම් ශේෂයන් සඳහන් ඡායාරූප ( Screen shots ) 3ක් ලබාගෙන තිබිණි. ඉන් පළමුවැන්න නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ය. එහි තැන්පත් කර තිබුණු මුදල ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1.086 ක් (රුපියල් බිලියන 163 ක් පමණ)  සටහන් වී ඇත. දෙවැන්න කුඩාබාලගේ පියදාස සහ රාජපක්ෂ පවුලේ සමීපතමයෙකුට අයත් හවුල් ගිණුමකි. එහි ඇමරිකානු ඩොලර් බිලියන 1.80 ක (රුපියල් බිලියන 270 ක් පමණ) මුදලක් තැන්පතු ලෙස සටහන් ව ඇත. තුන්වැන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ගේය. එහි ඇමරිකානු ඩොලර් මිලියන 500 ක (රුපියල් බිලියන 75 ක් පමණ) මුදලක් තිබී ඇත. මෙම මුදල් ප්‍රමාණය එක් වරම සිතා ගැනීමට අපහසු තරම් විශාල වෙතත් රාජපක්ෂ පවුල් හවුල වසර නවයක සිය පාලන කාලය තුළ දී මෙතරම් මුදලක් ඩුබායි රාජ්‍යයෙහි ඉතුරුම් ලෙස තැන්පත් කිරීමට සමත් වී තිබිණි. 

Tuesday, November 8, 2016

සිංහල ජාතියේ පැවැත්ම වෙනුවන් කල් තබා ගතයුතු දෙයක්


කල් තබා ගැනීම සඳහා වියලන ලද පළතුරු

ආහාර කල්තබා ගැනීම පටන් ගැනීම දඩයමේ ගිය යුගයෙන් පසු සමාජයේ පරිනාමයට හේතුවුණා කියල කියනවනෙ. එහෙම මස් කල් තබා ගන්න පාවිච්චි කරපු ක්‍රම වලින් කෝන්ඩ් බීෆ්, බේකන්, ජාඩි, බීෆ් ජර්කි වගේ දේවලුත් කිරි කල්තබා ගන්න ක්‍රම නිසා චීස්, ගිතෙල්, මෝරු වගේ දේවල් මනුෂ්‍ය ආහාර වලට එකතුවුණා. ඊට පස්සෙ ශීතකරණ එහෙම ඇවිල්ල එලවළු පළතුරු වලට අමතරව වෙන කල්තබා ගැනීමේ ක්‍රමයක් පාවිච්චි නොකරපු මස් එහෙමත් කල් තබා ගන්න පුළුවන් වුණා. මනුෂ්‍ය පරිනාමයේ ඒවගේ වැදගත් සංදිස්ථානයකට අපි ඇවිල්ලා ඉන්නෙ. මේ කියන දේ කල් තියා ගන්න නවීන කල් තබා ගැනීමේ උපාය මාර්ගයක් හොයන්න වෙලා. අඩුම වශයෙන් 2020 වෙනකන් වත් කල් ඉකුත් නොවී රස වෙනස් නොවී කල්තබා ගැනීමේ ක්‍රමයක් හොයාගන්න සිද්ධ වෙලා තියෙන ඓතිහාසික අවස්ථාවක්. 

Thursday, November 3, 2016

ජවිපෙට අනාගතයක්


ජනතා විමුක්ති පෙරමුණේ ලාංජනය

ශ්‍රී ලංකාවේ දේශපාලනය තියෙන්නේ පෙර නොදුටු සංදිස්ථානයක බව වැඩි දෙනෙකුට තේරෙනවා. මෙතනින් එහා දේශපාලන අනාගතය මොනවගේ වෙයිද කියන එක ගැනම් මත විවිධාකාරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්දට හිතවත් සහ නැති වශයෙන් භේද වෙලා ඉන්නේ. බණ්ඩාරණායක වරුන්ගේ දරුවන්ට තිබ්බ ආකර්ශණය රාජපක්ෂ දරුවන්ට සමාජයේ නැහැ. එම නිසා රාජපක්ෂවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය නැවත අත්පත් කරගත්තත් ඒක එක පරම්පරාවකින් එහාට යන්නේ නැහැ. රාජපක්ෂවරු අයින් වුණත් මෛත්‍රීපාල සිරිසේනටත් මේ පරම්පරාවෙන් එහාට පක්ෂය ගෙනයන්න රට පිළිගත් දෙවන පෙළක් ඇතිවී නැහැ.

Wednesday, November 2, 2016

අල්ලස් කොමිසම කටඋත්තරයක් ඉල්ලූවිට බුදු දහම අනතුරේ වැටෙන්නේ කෙසේද?



ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ රනිල් 
(Colombo telegraph) ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට එක්සත් ජාතික පක්‍ෂයේ කැලණිය ආසන සංවිධායක ධූරය පිරිනැමීම නිමිත්තෙන් අද (02) දින පැවැති උත්සවයේදී එක්සත් ජාතික පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්:
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසනයේ සංවිධායක ලෙස අද (02) දින පත්වීම් ලබනවා. කැලණිය එක්සත් ජාතික පක්ෂයට විශේෂ ආසනයක් බව කිව යුතුයි. කැලණිය ආසනය නියෝජනය කළ පළමු මන්ත්‍රීතුමා වන්නේ ඩී.බී. ජයතිලක මහතායි. ඉන්පසුව ජේ.ආර්. ජයවර්ධන කැලණිය ආසනය නියෝජනය කළා. අනෙක් පක්ෂයෙන් ආර්.බී. සේනානායක කැලණිය නියෝජනය කළා. ඉන්පසුව ආර්.එස්. පෙරේරා අවසන් වශයෙන් සිරිල් මැතිව් කැලණිය නියෝජනය කළා.